දම්මන්තැන්නේ අසිරිය

දම්මන්තැන්න යනු මාතලේ දිස්ත‍්‍රික්කයේ ගඟළසිය පත්තුවේ මහ කැලෑවක් මැද පිහිටි පෞරාණික කුඩා ගමකි. එය අපේ අත්තම්මාගේ උපන් ගමයි. මාගේ පාසැල් අවධියේ දී, එනම් 1980 ගණන්වල දී එම ගමට ගියේ මාතලෙන් ආරම්භ වූ රත්තොට දක්වා දිවෙන කුඩා තනි දොරේ ලංගම බසයෙනි. පැය දෙක තුනකට වරක් පිටත්වන එම බසය සෑම විටම මාතලේ නගරයට පැමිණෙන අහිංසක ගැමියන්ගෙන් පිරී පැවතුණි. මා කෝන්ගහවෙල සියඹලා ගස ළඟ නිලාවතුරේ අත්තාගේ කඬේ අසලින් බසයෙන් බසින්නේ ය. කව්රුවත් කැලේ මැද ඇති දම්මන්තැන්න ගමට යාමට තනියම පිටත් නොවේ. එබැවින් කෝන්ගහවෙල කඩ මණ්ඩියට පැමිණි ගැමියන් ආපසු යන්නේ කුඩා කණ්ඩායම් ලෙස එකටය. මා පළමුවරට ගිය දිනයේ දී රොබට් මාමා සහ සිරිල් අය්යා මා එනතෙක් කඩමණ්ඩියේ රැඳී සිටියෝය. අපේ අත්තම්මාගේ ලොකු දුව විවාහ වී සිටියේ එගොඩ වලව්වේ රොබට් බංඩා සමගය. සිරිල් අයියා මාමාගේ බාල පුතාය. අපි හත් දෙනෙක් සවස තුනට පමණ ගමට යාමට පිටත් වීමු. සෑම කෙනාගේම අතේ එල්ලා ගත් හෝ හිස මත තබා ගත් බඩු මල්ලකි.

අපට පළමුව අඹන් ගඟ හරහා වූ පැද්දෙන සංගිලි පාලමෙන් එගොඩ වීමට ඇත. සංගිලි පාලමක් යනු දෙකෙළවර ආධාරකවලට වානේ කම්බි ඇද ඇවිදින කොටසට ලෑලි අතුරා ඇති පැද්දෙන පාලමකි. එම ස්ථානයේ ගඟ ඉතා පළල් වූ අතර පාලම පිහිටියේ ඉතා උසිනි. දික් අතට අපිළිිවෙලට දමා තිබූ බොහෝ ලෑලි අතර හිඩැස්ද තිබුණි. මේ පාලමෙන් පළමුවර එතෙරවන  ඕනෑම අයෙකුට මරණ බිය අත්විඳීමට ලැබේ. මමත් හිතට දහිරිය ගෙන පණ බයේ අත්වාරු කම්බි දෙකේ එල්ලී ගඟ තරණය කළෙමි.

ඊට පසු අප පිවිසියේ ඉතා සුන්දර ඇලගමුව වෙල් යායටයි. එක යායට සරුවට වැවුනු කොළපාට බණ්ඩි ගොයමේ මායිමේ පිහිටි අත්තික්කා ගසින් පිරුණු ඇලවේල්ල දිගේ කිලෝමීටරයක් පමණ දුර ගිය විට ගම අවසාන වේ. ඊට පසු අප පිවිසෙන්නේ මහ කැලෑව මැදින් වූ අඩි පාරකටය. කණ්ඩායම් නායකයා ලෙස රොබට් මාමා පෙරටුකොට ගෙන අපි සියළු දෙනා එකා පසු පස එකා බැගින් පෝලිමට ගමන් කරයි. මහ වනය පිළිබඳ පළපුරුද්ද ඇති කෙනෙක් හැම විටම ඉදිරියට යොදන්නේ වනයේ සිදුවිය හැකි අනතුරු පිළිබඳ ඔවුනට හොඳ ඉවක් පවතින බැවිනි.

කැලෑව තුලින් ටික දුරක් ගිය විට අපට මහඇල නමින් හැඳින්වෙන ලස්සන දිය පාරක් හමුවේ. එය සුමට කළු ගල් අතරින් ඉතා පිරිසිදු ජලය ගලා යන තරමක් පළල ඇලකි. වියලි කාලයේදී නම් අපට ජලයේ බැස පයින් එයින් එතෙර විය හැක. නමුත් වැසි කාලයේදී විශාල ජල කඳක් ගෙන ඔයක ප‍්‍රමාණයට එය විශාල වේ. මෙය ඇලක් හා ඔයක් අතර වෙනස් වෙන බැවින් මහඇල කියා නම් කර ඇති ඇති බව මට හැෙඟ්. මහඇලේ දණිස් වටක් සීතල ජලයේ බැස එගොඩ වීමට නම්, පාවහන් නැතිව සරමක් හෝ කොට කලිසමක් ඇඳ යා යුතු වෙයි. මා ඇලහැර පසු වූ විටදීම සපත්තු ගලවා කරේ එල්ලා ගෙන කලිසම දණිස්සෙන් ඉහළට නවා ගෙන සිටි බැවින් කිසි අපහසුවක් නැතිව  මහඇලෙන් එගොඩ වීමට හැකි විය.

මහඇලෙන් එගොඩ වී අප පිවිසෙන්නේ කැලය මැදින් ඇති අඩි පාරටය. මහ දවල් පවා කන් සූරන රැහැයියන්ගේ ශබ්දය නොකඩවා ඇසුන අතර වඳුරන්ගේ බුකුම්-බුකුම් නාදය ද විටින් විට ඇසුනි. අඩිපාර ඉහළින් හා දෙපසින් ඇති රෑස්ස ගස් ගොම්මන නිසා මහ දවල් පවා අඳුරු  ගතියකින් වෙලී ඇත. කැලේ මැද්දට යන්න යන්න මගේ හිත තුල ඇති වන බිය වැඩි විය. අපි යන අඩි පාරේ එක තැනක දී මාමා නැවතී පොළවේ ඇති සළකුණක් පෙන්නා, එය ටික වේලාවකට පෙර කොටිකු පහුරු ගෑ සළකුණක් බව කියා දෙන ලදි. කැලේ කොටියා මග රැක සිට මිනිසුන්ට පහර නොදෙන බවත්, මිනිසා මග හැර යන නිසාත් අනතුරක් නැති බව පැවසීය. මෑත කාලයේ දී ගමේ කිසිවෙකු කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව නැති බව පැවසීම නිසා මගේ බිය තුනී විය. සැතපුමක් පමණ අප කැලය තුලින් ගිය විට පිවිසෙන්නේ අස්වනු නෙලා ඉපනැල්ලෙන් පිරි විශාල වෙල් යායකටය. වෙල් යාය තුළ දී පහසුවෙන් ඈත පෙනෙන බැවින් හිතේ බිය පහව යයි. කැලය තුලදී ගොළුවන් මෙන් නිහඬව,චනයේ ශබ්ද වලට කන් යොමු කරමින් ගමන් කළ අපි වෙල් එළිමහනේ දී දොඩමළු වූයෙමු. එම වෙල්යාය කෙළවර දී ද නැවතත් මහඇලේ බැස ආයෙමත් කැලයට පිවිසෙන්නේය.

එසේ ටික දුරක් යන විට ගස්වල අතු රිකිලි බිඳ අඩිපාර හරහා අලින් ගොස් ඇති බව දක්නට ලැබුණි. පාර අයිනේ තිබූ අලිබෙටි අනුව ඒ අද උදයේ ගොස් ඇති අලි රංචුවක් බව මාමා පවසන ලදි. විවිධ ප්‍රමාණයේ අඩි සළකුණු අනුව අලි පැටවෙක් හා මහ අලි දෙතුන් දෙනෙක් ගොස් ඇති බව මාමා විසින් විස්තර කර දුනි. අලින් දවල් කාලයේ ගමන් නොකර මහ කැලය මැද ඉන්නා බවත්, අලි රංචක් ඉන්නා විට අතු බිඳින හඬ, කන් පට ගසනා හඬ වැනි ශබ්ද ඇසෙන නිසා දුර තියා  අපට හඳුනා ගත හැකි වේ. නමුත් තනි අලියා පාර අයිනේ මුවා වී නිසොල්මනේ ඉන්නා බැවින් හා මිනිසුන්ට පහර දෙන බැවින් ඉතා සෝදිසියෙන් යා යුතුව ඇත. එහිදී අප යටි සුළඟේ ඉන්නා විට, එනම් අප දෙසට හුලං හමන විට ඈත තියා අලියාගේ ආවේනික ගඳ දැනෙන බැවින් අපට ආරක්ෂා වීමට හැක.

එම කැලෑව තුලින් ද සැතපුමක් පමණ ගිය විට අප නැවත තවත් වෙල් යායකට පිවිසුනි. අප වෙල්යායට පිවිසෙන විට මගේ බිය තුරන් වුව ද, එහිදීත් අනතුරු ඇති නිසා ඉතා සොදිසියෙන් වට පිටාව බැලිය යුතු බව මාමා පැහැදිළි කර දුනි. එනම් වෙල්යායේ කුළු මී හරක් නැති බව තහවුරු කර ගත යුතුය. කුළුමීමා වල් අලියාටත් වඩා භයානකය. මිනිසා දුටු ගමන් කුළුමීමා පහර දීමට දිව එයි. එවිට ඉක්මණින් ගසක එල්ලීම පමණයි කළ යුතු වන්නේ. ඈත කුළුමීමෙක් දැක්ක හොත් පළමුව නගින්න පුළුවන් ගසක් අසලට ගොස් හූ කියා, ශබ්ද නගා ඌව කැලයට එළවිය යුතුයි. බැරි වෙලාවත් කුළුමීමා ආවොත් ගසේ නැගිය යුතුයි. ඇතැම් අවස්ථාවල කුළුමීමා ගසට අනිමින් ගස අසල දවසක් වුවත් රැඳී සිටීමට ඉඩ ඇත.

අප එම වෙල්යායද පසු කර නැවත මහඇල තරණය කර කැලයට පිවිසියෙමු. එසේ ගමනේ අර්ධයක් පමණ ගිය විට කැලේ මැද අඩිපාර අයිනේ විශාල නුග ගසක් හා ගල් තලා කීපයක් දක්නට ලැබිණ. එම ගසේ බෙනයත ගලින් නෙලූ කුඩා පිළිමයක්ද තිබූ අතර, මාර්ගයේ යන සෑම කෙනෙක්ම  ආරක්ෂාව පිණිස කඩා එල්ලූ කොළ අතු ද දක්නට ලැබෙයි. කොළ අතු එල්ලීමේ ඇති තවත් වැදගත් දෙයක් එහි මට පෙනින. ඒල්ලා ඇති අමු කොළ අතු ගණනින් අද මෙතනින් ගිය මිනිසුන් සංඛ්‍යාව දැන ගත හැක. තවද කොළවල අලුත් බව හෝ වියළි බව අනුව ඔවුන් ගිය වේලාව ද තීරණය කළ හැක.

මෙසේ අප කැලය මැදින් යන ගමනේ දී වළි කුකුලන් හා තලගොයින් ද හමුවුනු අතර වෙනත් අතුරු අන්තරාවක් හෝ සර්පයින් දක්නට නොලැබිණ. මහඇල තැන් හතකින් තරණය කර, ඒ හා සමාන වෙල් යායවල් හා කැලෑ කොටස් පසු කර අවසානයට අප පිවිසුනේ සරුසාර කුඔුරු යායකටය. මෙතෙක් අපට දක්නට නොලැබුණු  පොල් ගස්ද ඈතින් පෙනුන විට අප දම්මන්තැන්න ගමට පිවිස ඇති බව මට වැටහුනි.

අපි දම්මන්තැන්නේ අඹ ගහ ළඟ  ගල්වැටිය තුළින් ඇති පාරෙන් ගෙවල් මණ්ඩියට පිවිසුනෙමු. දම්මන්තැන්නේ අඹ ගස ගැමියන්ගේ පොදු රැස්වීම් ස්ථානයයි. එහි වාඩි වීමට ගල් ලෑලි ඇති අතර දිනපතා සවස් භාගයේ ගැමියන් එක්රොක් වී තම තමාගේ අත්දැකීම් සහ විවිධ විනෝදාස්වාද කතා පවත්වයි. විශේෂයෙන්ම තරුණ සහ ළමා අය ලෝකය සහ සමාජ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැක.  අප අඹ ගහ මුල පසු කරන විට සවස 4 පමණ විය. මාමලාගෙ ගෙදර තිබුණේ ගමේ අනිකුත් ගෙවල් සියල්ල පසුකර ගොස් වනය ආරම්භ වන කෙළවරේ ය. අප යන විට අක්කලා දිවා ආහාරය සූදානම් කර තිබිණි. නමුත් ගමනේ විඩාව සමනය කර සහ දහදිය සෝදා ගනු පිණිස අපි  මහා ඇළට ගියෙමු. මාමගේ ඉඩමේ ඇති පොලු දැමූ දඬු වැටෙන් පැන අප ඇතුළු වන්නේ පන්සල් භූමියට ය .

 

දම්මන්තැන්න පන්සලේ හාමුදුරු නමක් නොසිටි අතර හොඳ තත්වයේ ආවාස ගෙයක් සහ බුදු මැදුරක් තිබිණි. එම පන්සල් භූමිය මායිම් වූයේ මහඇළට ය. අප  මහඇළට පිවිසෙන ස්ථානය ඉතා සුන්දරය. එතන ගල් දෙබොක්කාවකින් පහළට ගලා එන ජල පහරකුත් එනිසා සෑදුනු තරමක් විශාල ජල තටාකයකුත් ඇතග  කන්දේ ඉහළ පුවක්පිටිය ප්‍රදේශයේ සිට ගලාගෙන එන දියපහර දවසේ සෑම වෙලාවකදීම ඉතා සිසිල් බවකින් යුක්ත වේ. ඒ වගේම ගල් දෙබොක්කාව තුලින් ගලා හැලෙන දිය පහරට හිස අල්ලා ජලය තුල දිලී විනාඩි කීපයක් සිටීමෙන් ලබන සතුට කියා නිම කල නොහැක. එකිනෙකා මාරුවෙන් මාරුවට එම දිය පීල්ලට හිස අල්ලා ගොඩට පැමිණ සබන් ගා නැවත දිය පිහිල්ලේ විනාඩි කීපයක් සිටිවිට ඉතාම සුවදායක නෑමක් ලබාගත හැක. නෑමෙන් පසු ආපසු මාමාගේ නිවසට පැමිණි විට කෑම මේසේ ඉතා අපූරු සුවඳ  හමන ආහාර වේලක් තිබිණි. ගෙදර වී කොටා සාදන ලද තම්බපු හාලේ බත් සහ විශේෂයෙන් ගමේ හේන් වලින් සොයා ගන්නා ලද දේශීය එළවළු වලින් යුත් ආහාර වේලක් තිබුණි. කෙසේ වුවත් දම්මන්තැන්න ගැමියන් ඉතා කැමැත්තක් දක්වන්නෙ කරෝල වලට ය. එය කිසියම් ව්‍යංජනයකට මිශ්‍ර කොට ඉතා ප්‍රනීතව සාදනු ලබයි. එකල මාමගේ දූවරුන් තිදෙනාම, එනම් කිරි අක්කා, පද්මිනී අක්කා සහ චූටි අක්කා ගමේ සිටි අවධියයි.  එසේම ගමේ කාට හෝ යම්කිසි දඩයමක් ලැබුණු විට එහි මස් හැකි අයුරින් සියලුම ගෙවල් වලට බෙදා දීම ගම්වැසියන්ගේ අගනා සිරිතකි. නමුත් මා සිටි කාලය තුළදී කිසිම දවසක මාළු ආහාරයට නොගත් බව මතකය. විශේෂයෙන්ම බොහෝ දිනවල අපට ලැබුණු මස් වර්ග වූයේ වල් ඌරන්, ඉත්තෑවුන්, තලගොයින්ල හාවුන් වැනි සතුන්ගේ මස්ය. ඉතාමත් කලාතුරකින් ගෝන හෝ මුව මස් ලැබේ. යම් විදිහකින් ගෝනෙක් දඩයම් කර තිබුණේ නම් එය එක් දිනකින් අවසාන කරගැනීමට නොහැකි වන නිසා තුනී තීරු කපා ගල්තලාවක අතුරා වේලා ගෝන කරවල සාදාගැනීම කරයි. ගෝන කරවල යනු ඇඟිල්ලක් තරම් මහත අඟල් දහයක් තරම් දිග කූරු ලෙසින්  වේලන ලද මස් ය. ඒවා ගෙදර දුම්මැස්සේ එල්ලා තැබීමෙන් බොහෝ කාලයක් තබාගත හැකි වේ. කෑමට ගැනීමට වුවමනා වූ විට එම ගෝන කරවල දඬු කීපයක් ගෙන කෑලි කපා ජලයට දමා පොඟවා විවිධ ආකාරයෙන් රසවත් ව්‍යංජන සාදා ගත හැක.

 

විශේෂයෙන්ම එළවළු ලෙස අපට තුඹ කරවිල, නියං වැටකොළු, මඩු කොකු, මියන කොල, තිබ්බටු, ඒළබටු, අබ කොළ, කැකිරි, වට්ටක්කා, මැල්ල, ආදිය ලබාගත හැක.  ගමේ ඇති කොස් ගස් වලින් බොහෝවිට ලබාගන්නා කොස්, පොලොස් ද එළවළු ලෙස සාදා ගනී. තවද කැලේ යනවිට හමුවන ලේන හතු සහ බිම්මල් ගෙදර ගෙනවිත් ආහාරයට ගනී. කෙසේ වුවද ගෙවතු වල වගා කරන ලද එළවළු පාත්ති කිසිවක් මට දක්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම කුඹුරුවල වී වගා නොකරන කාලයේදී මිරිස් වගාව බහුලව සිදු කරයි. ඒ වගේම හේන් වගාව සිදුවන බැවින් සියලු එළවළු වර්ග ඇත්තේ හේන්වල ය. හේන්වල අස්වැන්න නෙලා ගත් පසු ද දඩු වැට ආරක්ෂිතව තිබුණේ නම් විවිධ එළවළු වර්ග ලබාගත හැක. හේනේ අස්වනු සම්පූර්ණයෙන්ම ලබාගත් පසු ගමේ තරුණියන් හා කාන්තාවන් හේනට ගොස් විවිධ එළවලු හා පලා වර්ගද, දඬු වැටට භාවිතාකල දැවී ඉතුරු වූ ලී මිටි ද දරට බැඳ දරට ගෙදර ගෙන  ඒ. 

Comments

Popular posts from this blog

අපේ ඉතුරුම් රජය හොරකම් කරලා

සිවිල් අරගලයක් වැඩි ඈතක නොවේ.